Thursday, September 6, 2018

පිය පොත් මතක



සද්ධර්මාලංකාරය මට තාමත් තාත්තා ගැන මතක් කරයි... 

හරියටම කවදාදැයි කියන්නට බැරි තරම් දුර ඈත අතීතයක තාත්තා මාත් සමග නිතර පොත් සාප්පු වලට ගිය කාලයක් තිබිණි. ඒ දවස් වලත් තාත්තාගේ අතමිට එහෙමට සරුවක් තිබිණැයි කියන්නට නොහැක. අනික් අතට මා කලා විෂයන් පැත්තට යොමුවනවාට තාත්තාගේ හිතේ බින්දුවක වත් කැමැත්තක් තිබුණේද නැත. 

එහෙත් එකල තාත්තාගේ පඩියෙන් වැඩි කොටසක් වැයවුණේ මට සම්භාව්‍ය සිංහල පොතපත රැගෙන දීමට ය. 

මේ ඇබිත්තන් කතාවට මුල් වූ දවසේ මම ගොඩගේ පොත් මැදුරේ පොත් දෙකක් අතර හිරවී සිටියෙමි. එකක් නම් සම්පූර්ණ, අසංක්ෂිප්ත සද්ධර්ම රත්නවලියයි. අනෙක රටේ ප්‍රධාන නිකාය වල අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනයකි. පොත් දෙකේ මිලගණන් වල එකතුව, අද පවා සිතන විට, සෑහෙන ගණනකි. 

"දෙකෙන් එකක් තෝරගන්න." තාත්තා මට කීවේ ය. 

දෙකෙන් එකක් තෝරාගන්නට මට අවංකවම වුවමනා විය. පොත් දෙකකට එතරම් මුදලක් එකවර වැය කරන්නට තාත්තාට අපහසු බව මම දැන සිටියෙමි. එහෙත් අනික් අතට, අවංකවම, මට දෙකෙන් එකක් තෝරාගැනීම පහසු වූයේ නැත. පොතකට ඇහැ සහ හිත එකට ගිය පසුව එය සාප්පුවේ දමා ඒම මට අදටත් දුෂ්කර ය. 

නැති ඉලක්කයකට කුරුමානම් අල්ලන පූස් පැටවෙකු මෙන් කාලය එක තැනම දඟලමින් තිබිණි. කොයි තරම් වෙලා ගියද මට තීරණයකට එන්නට පහසු නොවී ය. 

"කමක් නෑ එහෙනම්. දෙකම ගන්න."

තාත්තා කීවේ ය. මට තාත්තාගේ කටහඬේ බරත්, පොත් දෙකේ මිලගණන් වල බරත් නොදැනුණා නොවේ. 

"නැහැ. මම මේක ගන්නම්." 

මම සද්ධර්මාලංකාරය පෙන්වා කීමි. තාත්තා හිස සැලුවේ ය. 

"කමක් නැහැ. දෙකම ගන්න." 

මම එයින් එහාට කිසිවක් නොකියා පොත් දෙක රැගෙන කැෂියර් වෙත ගියෙමි. පොත් දෙකම ගොඩගේ ප්‍රකාශන නොවන නිසා වට්ටම් ලැබුණේද නැතුවා විය යුතු ය. අනික් අතට ඒ දිනවල වට්ටම් සම්ප්‍රදාය මෙතරම් පුළුල්ව පැතිරී තිබුණේද නැත. 

තාත්තා සද්ද නැතිව, තමන් අමාරුවෙන් හම්බ කරගත් මුදල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කැෂියර් අතට දී, පොත් දැමූ බෑග් එක මගේ අතට දුන්නේ ය. 

එදා සිට කිසිම දවසක සද්ධර්මාලංකාරය මගේ පොත් කබඩ් වල ඉහළම තට්ටුවෙන් පහළකට වැටුණේ නැත. අද වනවිට ඒ පොත පොත් කබඩ් තුනකට හෝ හතරකට මාරු වී තිබේ. Soi 11 සමාගම අරඹද්දී ගෙදර ඉස්සරහා කාමරය කාර්යාලයක් ලෙස සකසා අලුත් පොත් කබඩ් ගෙන ආ විට පවා සද්ධර්මාලංකාරය ගියේ අලුත් කබඩ් වල ඉහළම තට්ටුවකට ය. 




තාත්තා එදා අමාරුවෙන් අරන් දුන් නිසා මා සද්ධර්මාලංකාරය මෙතරම් ඉහළින් රකින්නේ යයි මට මෙතෙක් සිතී තිබුණේ නැත (අනෙක් අතට මා සතු, දශක එකහමාරකට වඩා පැරණි පොත් බොහොමයක් තාත්තා දුන් මුදල් වලින් මිලට ගත් ඒවා ය). ඇත්තටම මා අලුත් කබඩ් වල පොත් අසුරද්දී කල්පනා කළේ, සාමාන්‍යයෙන් බර පොත් පහළම තට්ටු වලින් තැබීමට පෙළඹෙන මා මේ පොත සැම විටම උඩින් තබන්නේ ඇයිද යන්නයි. 

දරුවන් වෙනුවෙන් තාත්තලා කරන කැපකිරීම් බලන විට මෙය මහා දෙයක් නොවන බව ඔබ සිතනු ඇත. 

එහෙත් ඔබ 'කාර් පිස්සුව' ගැන යම් තරමකට හෝ දන්නා කෙනෙකු නම්, එතැන මා තාත්තා ගැන කොතරම් දේවල් ලියා ඇත්දැයි ඔබ දැක තිබෙන්නට ඉඩ තිබේ. 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ අන්තිම ලිපිය වෙන්වී ඇත්තේද තාත්තා වෙනුවෙනි. 

මෙය මහාවංශය සේ ලියාගෙන යා හැකි මහා කතාවක එක් ඡේදයක් පමණි. 

ජීවිතය ඉස්සරහට යා යුතු ය. එය ආපස්සට යවන්නට ක්‍රමයක් නැහැ. එහෙත් ජීවිතය ඉස්සරහට යන ආකාරය තීරණය වන්නේ ඔබ ඔසවාගෙන යන මතක වල බර අනුව ය. 

මේ එකොළොස් වැනි වීදිය, ඔබ සිතනවාට වඩා බර මතක වලින් පිරීගිය තැනකි.

ඒ මතක, ඉදිරියේදී මේ වීදියේ පියමනින වාරයක් ගානේ තැනින් තැන, මඳින් මඳ හමුවනු ඇත... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
06.09.2018 
www.facebook.com/Soi11byTharinduSri 




13 comments:

  1. පියෙක් සෑම පුත්රයෙකුගේ ප්රථම වීරයා සහ සෑම දියණියගේ පළමු ආදරයයි. මගේ අදහසනම් ඔබේ පියා ඉතා විශිෂ්ට පුද්ගලයෙකු බවත් ඔහු පදක්කමක් දිනාගත යුතු බවත්ය. ඔහු ඔබව මේ ලෝකයට ගෙන එයි, ඔබගේ ජීවිතය වඩාත් යහපත් කර ගැනීමට සිය බලය යොදාගෙන ඇත. ඔහු සියලු දුක් විඳදරාගනිමින් පව්ල එකමුතුව සුවසේ තබයි. ශක්තිමත්ව සිටියි. එමනිසා, ඔබේ තාත්තා එතරම්ම විශිෂ්ට පුද්ගලයෙකි.ඔහුට මාගේ ආචාරය!

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට බොහොම ස්තූතියි අකිල...

      Delete
  2. ඒ අත් අපි වෙනුවෙන් කල කැප විමි දන්නේ ඒ අත්ම විතරයි අයියේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දුක තියෙන්නේ ඒ ගැන සංවාදයක් පටන් ගන්න කලින් සහ කෘතගුණ සලකන්න පුළුවන් ගාණට අපේ සාක්කු පිරෙන්න කලින් එයාලා යන්න යාම...

      Delete
  3. ලියන්න හිත බර නිසා ++++

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං. මින් පස්සේ මේ වීදියටත් ඇවිත් යන්න...

      Delete
  4. ඔබේ පියා එවැනි කැපකිරීම් කරපු හින්ද ගමයි අද ඔබ ඔයවැනි තැනක ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ජීවිතේ හැම වැදගත් සන්ධිස්ථානයකදීම මතක් වෙනවා, එයා හිටියා නම් කොච්චර සතුටු වේවිද කියන එක...

      Delete
  5. කාලය අසුරු සැනින් ගෙවුනා
    මතකයන් අමතක නොවුනා
    නෙතු අද්දර කඳුලක් දිලුනා
    පිය ස්නේහේ පුතු සිහි කෙරුනා

    ReplyDelete
    Replies
    1. කවියෙන් පිළිතුරු දෙන්නෝ සැබැවින්ම කම්පිත සිත් ඇත්තෝ ය.

      Delete
  6. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. මේ බ්ලොග් එක ටික කාලයක් අතපසු වෙලා තිබුණා. ප්‍රතිචාරයට ස්තූතියි. මම ඔයාගේ බ්ලොග් එකට ගොඩවෙන්නම්.

      Delete
  7. කාර් පිස්සුවට වඩා වෙනස් .එ උනාට තරිදු අයියේ වැඩේ නියමයි. දිගටම ලියන්න. ඔයගෙ ලෙඛන හැකියාව පට්ටයි කියලා තේරුනේ කාර් පිස්සුව කියවපු මුල් කාලෙ... , මම අනූප.

    ReplyDelete