Sunday, November 4, 2018

වම දන්නෙ නෑ දකුණේ නීතිය



ගුරු සංගම් ශාලාව වෙනස්. නමුත් 'ගුරු සංගම් ශාලාව වෙනස්' කියන එක යථාර්ථයක් කියන්න මට බැහැ. මොකද මම ගුරු සංගම් ශාලාව අන්තිමට දැක්කේ අවුරුදු දහ තුනකට විතර උඩදී වෙන්න ඕනේ. මම හිතන්නේ මම තුන් පාරක් විතර ඔය ශාලාවට ගියා. ඒ දවස් වල මතක අතරින් දැන් මට මතක තියෙන්නේ අපහසු පුටුවක හෝ බැංකුවක ඉඳගෙන හිටපු නිසා තට්ටම් වල ඇතිවුණු වේදනාව, අඳුර, සාපේක්ෂව මිත්‍රශීලී වුණු දෙන්නෙකුගේ 'මිත්‍රශීලී බව' ගැන අපැහැදිලි හැඟීම් කිහිපයක්, අඳුර/ආලෝකය සහ සුමිත් චාමින්දගේ හීන් පහේ කටහඬ විතරයි. අනික් අතට, මේ එකක් වත් ඇත්තටම තිබුණු දේවල්ද කියලා මට ඉන්තේරුවෙන්ම කියන්න බැහැ. ඒ නිසා මට 'ගුරු සංගම් ශාලාව වෙනස්' කියන එක සාධාරණීකරණය කරන්න බැහැ.

එක්ස් කණ්ඩායම කැඩිලා ගිහින්, නිර්මාල් ලා සහ සුමිත් ලා එක්ස් වෙලා දීප්ති එක්ස්-එක්ස් වුණාට පස්සේ සුමිත් ලා ලංකාවට හඳුන්වලා දෙන්න හදාපු පශ්චාත් මාක්ස්වාදය සංකල්පයට මගේ හිත ඇදුණා. තියරි වලින් දෝත බදලා ගැහීම වෙනුවට තියරි වලින් සාකච්ඡා කිරීම ඒ දවස් වල වෙනස් අත්දැකීමක් (ඔන්න ආයෙත් 'වෙනස්'). මේ හඳුන්වා දීම වෙනුවෙන් සුමිත්ලා තියපු පුංචි දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේදී එයාලා දීපු පොත් පිංචවල් කීපයක් මම තාම පරිස්සම් කරනවා.

අන්තිම දැනුවත් කිරීම ඉවර වෙලා එළියට එද්දී ඒ වැඩේට සහභාගී වුණු අයගෙන් එක්කෙනෙක් මට කතා කළා තව මොකක් හරි සංවාදයක් සිද්ධ වෙන තැනකට යන්න. "මම ගෙදර යන්න ඕනේ මචං. අපේ තාත්තට පොඩ්ඩක් සනීප මදි'." මම කිව්වා. ඒ දවස් වල අපේ තාත්තා ටිකක් අසනීපයෙන් හිටියේ. පසුකාලීනව තාත්තා මැරුණේ වකුගඩු ක්‍රියාකාරීත්වය නැවතිලා.

මේ වචන ටික ඇහුවම අර 'මචං' මගේ දිහා බැලුවේ 'මොකක්???' කියනවා වගේ හැඟීමකින්. මට එක්තරා විදිහක ලැජ්ජාවක් ආවා. වමේ දේශපාලනය කරන්න උත්සාහ කරන කණ්ඩායමක් මැද්දේ දකුණේ කතාවක් කිව්වා නේද කියලා. ඒත් එක්කම මොනවා හරි පත්‍රිකා වගයක්  වැඩ ඇරිලා යන මිනිස්සු අතරේ බෙදපු සීන් එකක මතකයක් තියනවා. පත්‍රිකා එකින් එක කොළඹ හුළඟට ගහගෙන ගියා. එකක් නෑර සේරම? වෙන්න පුළුවන්.

ඊට පස්සේ දවසක මම කොටුව පැත්තේ ඉඳන් ගෝල්ෆේස් පැත්තට ඇවිදගෙන එනවා. පාර දෙපැත්තේ වැලි කොට්ට. හමුදාව වැලි කොට්ට දානවා පාර දෙපැත්තේ. "රේස් එකටද?" මම ඇහුවා. එක හමුදා භටයෙක් හිනා වුණා. අනෙක් හමුදා භටයා කිසිම හැඟීමක් නොපෙන්වා අහක බලාගත්තා. මට මතක් වුණා කාලෙකට කලින් (නැත්නම් පස්සෙද?) එයාලා ලොරියක පිටිපස්සේ ඉඳන් දෙහිවල ආපිකෝ එක හරියේ එළවලු විකුණපු හැටි. "මතකද ඒ කාලේ?" මම මේ දැන් යාළුවෙක්ගෙන් අහනවා. යාළුවා මට බනිනවා, රටට ගැලපෙන ලිබරල්වාදයක් ගැන මොනවාද කියකියා.

ඒත් එක්ක තායිලන්තයේ හිටපු ටික කාලේ එයාලගේ 'පැරඩොන්' කියන වාමාංශික සංගීත කණ්ඩායම හමුවෙන්න ගිය අවස්ථාවක් මට මතක් වෙනවා. මම එයාලගෙන් ඇහුව ප්‍රධාන ප්‍රශ්නය රජ කෙනෙකුට අසීමිතව ආදරය කරන සංස්කෘතියක් ඇතුළේ කම්කරු පන්තියේ අරගලය ඉස්සරහට යන්නේ කොහොමද කියලා. එයාලා රජ්ජුරුවෝ ගැන ආදරයෙන් දැල්වුණු දෑස් වලින් හිනා වුණා. "ඒවා අපේ සමාජයේ මුල් බැසගෙන තියන දේවල්. අපි රජ්ජුරුවන්ට ආදරෙයි. අපි හැමෝම රජ්ජුරුවන්ට ආදරෙයි. ඒක අපේ දේශපාලනයට අදාළ නැහැ." පස්සේ කාලෙක භූමිබෝල් රජතුමා මියගියා. අදටත් මගේ ෆොක්ස්වැගන් එකේ දකුණු පැත්තේ පිටිපස්සේ වීදුරුවේ එතුමාගේ රූපය තියන ස්ටිකර් එකක් තියනවා.

මම කාර් ගැන ලියනවා. නොනැවතී ලියනවා. දාස් ගණනක පිරිසක් ඒවා කියනවා. ඒවා කියවන අය අතරින් විශාල පිරිසක් කර්මය සහ පුනරුප්පත්තිය විශ්වාස කරනවා. ලංකාවේ කවදාහරි පක්ෂ දේශපාලනය ඔස්සේ පරමාදර්ශී දේශප්‍රේමයක් ස්ථාපිත වෙන බව එයාලා හිතනවා. පක්ෂ දේශපාලන සම්ප්‍රදායෙන් පිට කිසිම දේශපාලන ව්‍යාපාරයක් එයාලා එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන නැහැ. "උඹ කවුද මචං?" කියලා ඇහෙන ප්‍රශ්නයට එයාලට දෙන්න දැන් උත්තරයක් තියනවා. "අපි සිංහල බෞද්ධ".

මීට දශක එකහමාරකටත් වැඩ කාලයකට කලින් මට ඉස්සරලාම එක්ස් කණ්ඩායම ගැන කියලා දීපු යාළුවා තමන්ගේ බිරිඳ එක්ක ස්විමිං පූල් එකක විනෝද වෙන ෆොටෝ කීපයක් ෆේස්බුක් එකේ දානවා. මම දැන් විනාඩි තිහක් තිස්සේ ඔහේ ෆේස්බුක් එකේ. අනාගතයේ සිදුවෙන යහපත් දේවල් ගැන සතුටට ෆේස්බුක් එක ඉදිමිලා. ඒ අතරේ 'වෙනස්' විදිහට (?) අදහස් හුවමාරු කරගන්න පුළුවන් අවකාශයක් කොහේ හරි තියනවද කියලා මම හිතන්න ගන්නවා. එතකොට මට මතක් වෙනවා රටේ රැඩිකල් සාහිත්‍ය දේශපාලනික පොත් තියන තැන්වල මම කාර් ගැන ලියපු පොත් තියෙන්නේ ඇයි කියලා සමහරු පුදුම වෙන හැටි.

"ඒවා මෙතනට හරියන්නේ නැහැ නේ. ඇයි ඒවා මෙතන තියෙන්නේ?"

ඉරිදා රෑක මම මේ සටහන ලියනවා. පහුවෙනිදා හෙට උදේ ලංකාවේ සහ ලෝකයේ විශාල පිරිසක් අලුත් සතියක රැකියාවට යන්න ඕනේ. එයාලා ටොයිලට් යන වෙලාව පවා ගණනය වෙන යාන්ත්‍රික ක්‍රම දැන් තියනවා. ඉක්මනට ටොයිලට් ගිහින් ඉක්මනට ඩෙස්ක් එකට එන අය අතරින් ඉක්මනටම ඩෙස්ක් එකට ආපු කෙනාට වාර්ෂික සම්මාන උළෙලකදී සම්මානයක් හම්බෙනවා.

වැඩියෙන්ම වෙලාව ගත්තු කෙනා රස්සාවෙන් දොට්ට වැටෙනවා. එයා එක පක්ෂයකින් ක්ෂුද්‍ර ණයක් අරගෙන ත්‍රීවීලර් එකක් අරගෙන අනික් පක්ෂයට ඡන්දය දෙනවා. එයා හිතන හැටියට මේක රැල්ලක් නෙමෙයි, කැරැල්ලක්.

- තරිඳු ශ්‍රී ලොකුගමගේ
04.11.2018



Thursday, September 6, 2018

පිය පොත් මතක



සද්ධර්මාලංකාරය මට තාමත් තාත්තා ගැන මතක් කරයි... 

හරියටම කවදාදැයි කියන්නට බැරි තරම් දුර ඈත අතීතයක තාත්තා මාත් සමග නිතර පොත් සාප්පු වලට ගිය කාලයක් තිබිණි. ඒ දවස් වලත් තාත්තාගේ අතමිට එහෙමට සරුවක් තිබිණැයි කියන්නට නොහැක. අනික් අතට මා කලා විෂයන් පැත්තට යොමුවනවාට තාත්තාගේ හිතේ බින්දුවක වත් කැමැත්තක් තිබුණේද නැත. 

එහෙත් එකල තාත්තාගේ පඩියෙන් වැඩි කොටසක් වැයවුණේ මට සම්භාව්‍ය සිංහල පොතපත රැගෙන දීමට ය. 

මේ ඇබිත්තන් කතාවට මුල් වූ දවසේ මම ගොඩගේ පොත් මැදුරේ පොත් දෙකක් අතර හිරවී සිටියෙමි. එකක් නම් සම්පූර්ණ, අසංක්ෂිප්ත සද්ධර්ම රත්නවලියයි. අනෙක රටේ ප්‍රධාන නිකාය වල අධ්‍යාපන සම්ප්‍රදාය පිළිබඳ අධ්‍යයනයකි. පොත් දෙකේ මිලගණන් වල එකතුව, අද පවා සිතන විට, සෑහෙන ගණනකි. 

"දෙකෙන් එකක් තෝරගන්න." තාත්තා මට කීවේ ය. 

දෙකෙන් එකක් තෝරාගන්නට මට අවංකවම වුවමනා විය. පොත් දෙකකට එතරම් මුදලක් එකවර වැය කරන්නට තාත්තාට අපහසු බව මම දැන සිටියෙමි. එහෙත් අනික් අතට, අවංකවම, මට දෙකෙන් එකක් තෝරාගැනීම පහසු වූයේ නැත. පොතකට ඇහැ සහ හිත එකට ගිය පසුව එය සාප්පුවේ දමා ඒම මට අදටත් දුෂ්කර ය. 

නැති ඉලක්කයකට කුරුමානම් අල්ලන පූස් පැටවෙකු මෙන් කාලය එක තැනම දඟලමින් තිබිණි. කොයි තරම් වෙලා ගියද මට තීරණයකට එන්නට පහසු නොවී ය. 

"කමක් නෑ එහෙනම්. දෙකම ගන්න."

තාත්තා කීවේ ය. මට තාත්තාගේ කටහඬේ බරත්, පොත් දෙකේ මිලගණන් වල බරත් නොදැනුණා නොවේ. 

"නැහැ. මම මේක ගන්නම්." 

මම සද්ධර්මාලංකාරය පෙන්වා කීමි. තාත්තා හිස සැලුවේ ය. 

"කමක් නැහැ. දෙකම ගන්න." 

මම එයින් එහාට කිසිවක් නොකියා පොත් දෙක රැගෙන කැෂියර් වෙත ගියෙමි. පොත් දෙකම ගොඩගේ ප්‍රකාශන නොවන නිසා වට්ටම් ලැබුණේද නැතුවා විය යුතු ය. අනික් අතට ඒ දිනවල වට්ටම් සම්ප්‍රදාය මෙතරම් පුළුල්ව පැතිරී තිබුණේද නැත. 

තාත්තා සද්ද නැතිව, තමන් අමාරුවෙන් හම්බ කරගත් මුදල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් කැෂියර් අතට දී, පොත් දැමූ බෑග් එක මගේ අතට දුන්නේ ය. 

එදා සිට කිසිම දවසක සද්ධර්මාලංකාරය මගේ පොත් කබඩ් වල ඉහළම තට්ටුවෙන් පහළකට වැටුණේ නැත. අද වනවිට ඒ පොත පොත් කබඩ් තුනකට හෝ හතරකට මාරු වී තිබේ. Soi 11 සමාගම අරඹද්දී ගෙදර ඉස්සරහා කාමරය කාර්යාලයක් ලෙස සකසා අලුත් පොත් කබඩ් ගෙන ආ විට පවා සද්ධර්මාලංකාරය ගියේ අලුත් කබඩ් වල ඉහළම තට්ටුවකට ය. 




තාත්තා එදා අමාරුවෙන් අරන් දුන් නිසා මා සද්ධර්මාලංකාරය මෙතරම් ඉහළින් රකින්නේ යයි මට මෙතෙක් සිතී තිබුණේ නැත (අනෙක් අතට මා සතු, දශක එකහමාරකට වඩා පැරණි පොත් බොහොමයක් තාත්තා දුන් මුදල් වලින් මිලට ගත් ඒවා ය). ඇත්තටම මා අලුත් කබඩ් වල පොත් අසුරද්දී කල්පනා කළේ, සාමාන්‍යයෙන් බර පොත් පහළම තට්ටු වලින් තැබීමට පෙළඹෙන මා මේ පොත සැම විටම උඩින් තබන්නේ ඇයිද යන්නයි. 

දරුවන් වෙනුවෙන් තාත්තලා කරන කැපකිරීම් බලන විට මෙය මහා දෙයක් නොවන බව ඔබ සිතනු ඇත. 

එහෙත් ඔබ 'කාර් පිස්සුව' ගැන යම් තරමකට හෝ දන්නා කෙනෙකු නම්, එතැන මා තාත්තා ගැන කොතරම් දේවල් ලියා ඇත්දැයි ඔබ දැක තිබෙන්නට ඉඩ තිබේ. 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ අන්තිම ලිපිය වෙන්වී ඇත්තේද තාත්තා වෙනුවෙනි. 

මෙය මහාවංශය සේ ලියාගෙන යා හැකි මහා කතාවක එක් ඡේදයක් පමණි. 

ජීවිතය ඉස්සරහට යා යුතු ය. එය ආපස්සට යවන්නට ක්‍රමයක් නැහැ. එහෙත් ජීවිතය ඉස්සරහට යන ආකාරය තීරණය වන්නේ ඔබ ඔසවාගෙන යන මතක වල බර අනුව ය. 

මේ එකොළොස් වැනි වීදිය, ඔබ සිතනවාට වඩා බර මතක වලින් පිරීගිය තැනකි.

ඒ මතක, ඉදිරියේදී මේ වීදියේ පියමනින වාරයක් ගානේ තැනින් තැන, මඳින් මඳ හමුවනු ඇත... 

තරිඳු ශ්‍රී ලොකුගමගේ 
06.09.2018 
www.facebook.com/Soi11byTharinduSri 




Saturday, September 1, 2018

අයිස් කැට වැටෙන කාලය හෙවත් ඔබ නොදන්නා මගේ කතා...




මේ පුංචි සටහන තබන්නේ, 'අයිස් කැට වැටෙන කාලය' කාර් පොත් තුනක් අතර තැලී, සුළඟක් නැති සැන්දෑවක යවන්නට හැදූ සරුංගලයක් සේ චොකොස් ගා බිම වැටී අතීතයට එකතු වේ යයි ඇතිවූ අහේතුක බිය නිසා ය.

අයිස් කැට වැටෙන කාලය යනු කෙටිකතා එකතුවකි. එහි Citroen 2CV එකක රූපයක් ඇත්තේ එහි ඇති කතා අතරින් මා කැමතිම කතාවේ ප්‍රධාන භූමිකාවක් Citroen 2CV එකකට හිමිවී ඇති නිසා ය.
කාර් පිස්සුව පටන්ගන්නට පෙර මට අවශ්‍ය වූයේ සීරියස් සාහිත්‍යකරුවෙකු වීමට ය. කාර් පිස්සුව බිහිවූයේ 2016 වසරේදී වන අතර, ඊට පෙර කාර් ගැන ලියන්නට මගේ තුන් හිතෙන් එක හිතක වම් පැත්තේ අයිනක වත් තිබුණේ නැත. කාර් පිස්සුව තනිකරම අහම්බයකි. මේ ගැන කෙටි විස්තරයක් 'කාර් පිස්සුව සිතිවිලි එකතුව' පොතේ පෙරවදනේ මා දක්වා ඇත.

අයිස් කැට වැටෙන කාලය පොතේ ඇති කතා අතරින් එකක් හැර අන් සියල්ලම ලියවුණේ 2009 වසරේ හෝ ඊට පෙර ය. ඒ කාලයේ ඒ කතා ප්‍රකාශයට පත්කරන්නට මට හැකියාවක් තිබුණේ නැත. ඒ දවස් වල මගේ ජීවිතය ගෙවුණේ මහා සාගරය මැද එන්ජිම නතර වූ බෝට්ටුවක් පරිද්දෙනි. මරිමෝඩකම් glorify කරගෙන මනුස්ස සම්බන්ධතා බලෙන්ම tragedy බවට පත්කරගත් ඒ කාලයේ ලිවීම හැර මට වෙන පලායාමේ මාවතක් තිබුණේ නැත.

මෙසේ දශකයකට පමණ ඉහතදී ලියවීම නිසා ඒ කතා වල ශෛලිය, අද මා සීරියස් දේවල් ලියන ශෛලියට වඩා මදක් වෙනස් ය. එහෙත් මා සිතන හැටියට, දිගටම මා ලියූ දේවල් කියවන සහ කියවූ සීමිත සංඛ්‍යාත සමීපස්ථයන්ට එය එකම කෙනාගේ බව වටහාගැනීම අපහසු නැත.

කෙසේ වුවද, වැදගත්ම දෙය වන්නේ, කාර් පිස්සුවේ ලේඛන ශෛලියත්, අයිස් කැට වැටෙන කාලයේ ලේඛන ශෛලියත් අහසට පොළව මෙන් වන බවයි.

ඔබ කාර් ගැන පමණක් කියවන කෙනෙකු නම්, ඔබ නොමග යවා මේ පොත මිලදීගන්නට සලස්වන්නට මට අවශ්‍ය නැත. අනෙක් අතට, ඔබ කාර් ගැන සිංහලයෙන් සාහිත්‍යයක් බිහිකරන්නට මා දරන වෑයම ගැන මෙලෝ දෙයක් නොතේරෙන කෙනෙකු නම්, තවත් කාර් පොතක් කියා සිතා මෙය නොතකා හරිනු දකින්නට මා තුළ කැමැත්තක් ඇත්තේද නැත. කෙසේ වුවද ඔබ කාර් ගැන කියවන, සීරියස් සාහිත්‍යට ආශා කරන කෙනෙක් නම්, ඔබ ඇදහිය යුත්තෙකු වනු අතර, ඔබ පොත් හතරම මිලදීගනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. 

කෙටියෙන්ම කියන්නේ නම්, අයිස් කැට වැටෙන කාලය කාර් පොතක් ලෙස නොව, කෙටිකතා පොතක් ලෙස සංවාදයට ලක්වනු දැකීමට මට අවශ්‍ය ය.

මින් මා අදහස් කරන්නේ ප්‍රවීණයන්ට කියා පැසසුම් කියවා ගැනීම නොවේ. එවැනි දෙයක් අවශ්‍ය නම් මා මුලින්ම කරන්නේ ප්‍රවීණයෙකුට කියා පොතට පසුවදනක් ලියවා ගැනීම ය. එවැනි වැඩ වලට මගේ කිසිදු කැමැත්තක් නැත. අයිස් කැට වැටෙන කාලයේ පසු කවරයේ ඇත්තේ ඒ කතාවෙන්ම උපුටාගත් කොටසකි (ඔබට මේ කොටස grantha.lk හි දක්වා ඇති පසුකවරයේ ඡායාරූපයෙන් කියවිය හැක. https://grantha.lk/publishers/soi-11.html.  ඉදිරියේදී Soi 11 – by Tharindu Sri ෆේස්බුක් පිටුවට මෙය විධිමත් ලෙස අප්ලෝඩ් වීමට නියමිත ය).

මට අවශ්‍ය වන්නේ කාර් පිස්සුවේ පොදු වේදිකාවෙන් පිටත, අයිස් කැට වැටෙන කාලයට පාඨකත්ව සාධාරණයක් ඉටුවන වේදිකාවක් තුළ එය කතාබහට ලක්වනු දැකීම ය.

කරුණාකර අයිස් කැට වැටෙන කාලය කාර් පොතක් ලෙස සැලකීමෙන් වළකින්න.

2000 දශකයේ මුල් භාගයේ සිට සාහිත්‍ය සංවාද අස්සේ මඳමඳව ගැවසුණු, විභවියේ අපූරු පුංචි සාකච්ඡා වලට සහභාගී වූ, අතේ තිබූ තුට්ටු දෙක වියදම් කරගෙන පොත් මිලදීගෙන කියවූ, කවදා හෝ සීරියස් සාහිත්‍යකාරයෙකු වන්නට සිහින දුටු පුද්ගලයෙකුගේ පොතක් ලෙස සිතා මෙය සොයාගන්න.

ඉන්පසු, මේ මේ කියූ සියල්ල සිතින් අමතක කර, මා කාර් පිස්සුවෙ ඇඩ්මින් බවද අමතක කර, මා Soi 11 හි හිමිකරු බවද සිතින් බැහැර ලා, මේ කතා කියවන්න.

මට අවශ්‍ය වන්නේ එපමණකි.

"මහ පොළොවේ වසර මිලියන ගණනක අතීතයේ සුවඳ සහ මනුස්ස සංහතියේ සියවස් එකහමාරක පමණ ක්‍රියාකාරකම් වල හඩු ගඳ පනහට පනහේ අනුපාතයට ඇනී සැදුණු අමු පෙට්‍රල් ගඳින් තෝන්තුවා වී සිටි ඇය ආපසු යථාර්ථය වෙත කඩා වැටුණේ  සිට්‍රනයේ පැසෙන්ජර් සයිඩ් දොරේ අගුල ටිකිස් ගා ඇරෙන හඬිනි. ඇසත් මොළයත් අතර හරිහමන් පණිවිඩ දෙකතුනක් එහාමෙහා යන්නටත් පෙර ස්ටීවන් මහල්ලා සිට්‍රනයට ගොඩවී දොර වසාගත්තේ ය. පනහේ දශකයේ නිකැළැල් යකඩ, ඔරිජිනල් සුවඳ ඇති රබර් බීඩින් තෙරපාගෙන අවුත් වම් පැත්තේ දොර අගුලු වැටුණේ ප්‍රවාදගත ප්‍රංශ හාදුවක් තරමට ශෘංගාර සැහැල්ලුවකිනි. "
(පිටුව 81)

- තරිඳු ශ්‍රී ලොකුගමගේ




(අයිස් කැට වැටෙන කාලය දැන් සදීපා, සරසවි, ලුමිනෙක්ස් පොත්හල් වෙතින් සහ grantha.lk වෙතින් මිලදීගත හැක. හැකි නම් share කර මිතුරන් දැනුවත් කරන්න)