ගුරු සංගම් ශාලාව වෙනස්.
නමුත් 'ගුරු සංගම් ශාලාව වෙනස්' කියන එක යථාර්ථයක් කියන්න මට බැහැ. මොකද මම ගුරු
සංගම් ශාලාව අන්තිමට දැක්කේ අවුරුදු දහ තුනකට විතර උඩදී වෙන්න ඕනේ. මම හිතන්නේ මම
තුන් පාරක් විතර ඔය ශාලාවට ගියා. ඒ දවස් වල මතක අතරින් දැන් මට මතක තියෙන්නේ අපහසු
පුටුවක හෝ බැංකුවක ඉඳගෙන හිටපු නිසා තට්ටම් වල ඇතිවුණු වේදනාව, අඳුර, සාපේක්ෂව
මිත්‍රශීලී වුණු දෙන්නෙකුගේ 'මිත්‍රශීලී බව' ගැන අපැහැදිලි හැඟීම් කිහිපයක්,
අඳුර/ආලෝකය සහ සුමිත් චාමින්දගේ හීන් පහේ කටහඬ විතරයි. අනික් අතට, මේ එකක් වත්
ඇත්තටම තිබුණු දේවල්ද කියලා මට ඉන්තේරුවෙන්ම කියන්න බැහැ. ඒ නිසා මට 'ගුරු සංගම්
ශාලාව වෙනස්' කියන එක සාධාරණීකරණය කරන්න බැහැ.
එක්ස් කණ්ඩායම කැඩිලා
ගිහින්, නිර්මාල් ලා සහ සුමිත් ලා එක්ස් වෙලා දීප්ති එක්ස්-එක්ස් වුණාට පස්සේ සුමිත්
ලා ලංකාවට හඳුන්වලා දෙන්න හදාපු පශ්චාත් මාක්ස්වාදය සංකල්පයට මගේ හිත ඇදුණා. තියරි
වලින් දෝත බදලා ගැහීම වෙනුවට තියරි වලින් සාකච්ඡා කිරීම ඒ දවස් වල වෙනස්
අත්දැකීමක් (ඔන්න ආයෙත් 'වෙනස්'). මේ හඳුන්වා දීම වෙනුවෙන් සුමිත්ලා තියපු පුංචි
දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේදී එයාලා දීපු පොත් පිංචවල් කීපයක් මම තාම පරිස්සම්
කරනවා.
අන්තිම දැනුවත් කිරීම
ඉවර වෙලා එළියට එද්දී ඒ වැඩේට සහභාගී වුණු අයගෙන් එක්කෙනෙක් මට කතා කළා තව මොකක්
හරි සංවාදයක් සිද්ධ වෙන තැනකට යන්න. "මම ගෙදර යන්න ඕනේ මචං. අපේ තාත්තට
පොඩ්ඩක් සනීප මදි'." මම කිව්වා. ඒ දවස් වල අපේ තාත්තා ටිකක් අසනීපයෙන් හිටියේ.
පසුකාලීනව තාත්තා මැරුණේ වකුගඩු ක්‍රියාකාරීත්වය නැවතිලා.
මේ වචන ටික ඇහුවම අර
'මචං' මගේ දිහා බැලුවේ 'මොකක්???' කියනවා වගේ හැඟීමකින්. මට එක්තරා විදිහක
ලැජ්ජාවක් ආවා. වමේ දේශපාලනය කරන්න උත්සාහ කරන කණ්ඩායමක් මැද්දේ දකුණේ කතාවක්
කිව්වා නේද කියලා. ඒත් එක්කම මොනවා හරි පත්‍රිකා වගයක් වැඩ ඇරිලා යන මිනිස්සු අතරේ බෙදපු සීන් එකක
මතකයක් තියනවා. පත්‍රිකා එකින් එක කොළඹ හුළඟට ගහගෙන ගියා. එකක් නෑර සේරම? වෙන්න
පුළුවන්.
ඊට පස්සේ දවසක මම කොටුව
පැත්තේ ඉඳන් ගෝල්ෆේස් පැත්තට ඇවිදගෙන එනවා. පාර දෙපැත්තේ වැලි කොට්ට. හමුදාව වැලි
කොට්ට දානවා පාර දෙපැත්තේ. "රේස් එකටද?" මම ඇහුවා. එක හමුදා භටයෙක් හිනා
වුණා. අනෙක් හමුදා භටයා කිසිම හැඟීමක් නොපෙන්වා අහක බලාගත්තා. මට මතක් වුණා කාලෙකට
කලින් (නැත්නම් පස්සෙද?) එයාලා ලොරියක පිටිපස්සේ ඉඳන් දෙහිවල ආපිකෝ එක හරියේ එළවලු
විකුණපු හැටි. "මතකද ඒ කාලේ?" මම මේ දැන් යාළුවෙක්ගෙන් අහනවා. යාළුවා මට
බනිනවා, රටට ගැලපෙන ලිබරල්වාදයක් ගැන මොනවාද කියකියා.
ඒත් එක්ක තායිලන්තයේ
හිටපු ටික කාලේ එයාලගේ 'පැරඩොන්' කියන වාමාංශික සංගීත කණ්ඩායම හමුවෙන්න ගිය
අවස්ථාවක් මට මතක් වෙනවා. මම එයාලගෙන් ඇහුව ප්‍රධාන ප්‍රශ්නය රජ කෙනෙකුට අසීමිතව
ආදරය කරන සංස්කෘතියක් ඇතුළේ කම්කරු පන්තියේ අරගලය ඉස්සරහට යන්නේ කොහොමද කියලා.
එයාලා රජ්ජුරුවෝ ගැන ආදරයෙන් දැල්වුණු දෑස් වලින් හිනා වුණා. "ඒවා අපේ සමාජයේ
මුල් බැසගෙන තියන දේවල්. අපි රජ්ජුරුවන්ට ආදරෙයි. අපි හැමෝම රජ්ජුරුවන්ට ආදරෙයි.
ඒක අපේ දේශපාලනයට අදාළ නැහැ." පස්සේ කාලෙක භූමිබෝල් රජතුමා මියගියා. අදටත්
මගේ ෆොක්ස්වැගන් එකේ දකුණු පැත්තේ පිටිපස්සේ වීදුරුවේ එතුමාගේ රූපය තියන ස්ටිකර්
එකක් තියනවා.
මම කාර් ගැන ලියනවා.
නොනැවතී ලියනවා. දාස් ගණනක පිරිසක් ඒවා කියනවා. ඒවා කියවන අය අතරින් විශාල පිරිසක්
කර්මය සහ පුනරුප්පත්තිය විශ්වාස කරනවා. ලංකාවේ කවදාහරි පක්ෂ දේශපාලනය ඔස්සේ
පරමාදර්ශී දේශප්‍රේමයක් ස්ථාපිත වෙන බව එයාලා හිතනවා. පක්ෂ දේශපාලන සම්ප්‍රදායෙන්
පිට කිසිම දේශපාලන ව්‍යාපාරයක් එයාලා එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන නැහැ. "උඹ
කවුද මචං?" කියලා ඇහෙන ප්‍රශ්නයට එයාලට දෙන්න දැන් උත්තරයක් තියනවා.
"අපි සිංහල බෞද්ධ".
මීට දශක එකහමාරකටත් වැඩ
කාලයකට කලින් මට ඉස්සරලාම එක්ස් කණ්ඩායම ගැන කියලා දීපු යාළුවා තමන්ගේ බිරිඳ එක්ක
ස්විමිං පූල් එකක විනෝද වෙන ෆොටෝ කීපයක් ෆේස්බුක් එකේ දානවා. මම දැන් විනාඩි තිහක්
තිස්සේ ඔහේ ෆේස්බුක් එකේ. අනාගතයේ සිදුවෙන යහපත් දේවල් ගැන සතුටට ෆේස්බුක් එක
ඉදිමිලා. ඒ අතරේ 'වෙනස්' විදිහට (?) අදහස් හුවමාරු කරගන්න පුළුවන් අවකාශයක් කොහේ
හරි තියනවද කියලා මම හිතන්න ගන්නවා. එතකොට මට මතක් වෙනවා රටේ රැඩිකල් සාහිත්‍ය
දේශපාලනික පොත් තියන තැන්වල මම කාර් ගැන ලියපු පොත් තියෙන්නේ ඇයි කියලා සමහරු
පුදුම වෙන හැටි.
"ඒවා මෙතනට
හරියන්නේ නැහැ නේ. ඇයි ඒවා මෙතන තියෙන්නේ?"
ඉරිදා රෑක මම මේ සටහන
ලියනවා. පහුවෙනිදා හෙට උදේ ලංකාවේ සහ ලෝකයේ විශාල පිරිසක් අලුත් සතියක රැකියාවට
යන්න ඕනේ. එයාලා ටොයිලට් යන වෙලාව පවා ගණනය වෙන යාන්ත්‍රික ක්‍රම දැන් තියනවා.
ඉක්මනට ටොයිලට් ගිහින් ඉක්මනට ඩෙස්ක් එකට එන අය අතරින් ඉක්මනටම ඩෙස්ක් එකට ආපු
කෙනාට වාර්ෂික සම්මාන උළෙලකදී සම්මානයක් හම්බෙනවා.
වැඩියෙන්ම වෙලාව ගත්තු
කෙනා රස්සාවෙන් දොට්ට වැටෙනවා. එයා එක පක්ෂයකින් ක්ෂුද්‍ර ණයක් අරගෙන ත්‍රීවීලර්
එකක් අරගෙන අනික් පක්ෂයට ඡන්දය දෙනවා. එයා හිතන හැටියට මේක රැල්ලක් නෙමෙයි,
කැරැල්ලක්.
- තරිඳු ශ්‍රී ලොකුගමගේ
04.11.2018